Wednesday, October 16, 2013

Friday, June 22, 2012

ආදරය සහ ජීවිතය!

                        ආදරය..........! කවද කතා කරලා ඉවර කරන්න පුළුවන් දෙයක්ද? 
කෙනෙක් කියයි "ආදරය හරිම සුන්දරයි, ආදරේ නැතිතැන ජීවිතයකුත් නෑ" කියල. ඇත්ත! පුංචි කාලේ ඉඳල කෙනෙක් ලොකු මහත් වෙලා අන්තිමේ පොලවට පස් වෙනකම්ම හැම කෙනෙක්ම කොච්චර ආදරේ ලබනවද?...  

                       මුලින්ම අම්ම තාත්ත, සහෝදර සහෝදරියෝ, ඊට පස්සේ නෑදෑයෝ, යාළුවො,... තවත් ටික කාලෙකින් තමන්ගේ ජීවිතේට ඉතා සුවිශේෂ වුන අදරවන්තියක් හෝ ආදරවන්තයෙක්ගෙන ලබන ආදරේ..තවත් ටික කාලෙකින් තමන්ගේම දරුවෝ,,
මේ හැම තැනකම තියෙන්නේ ජිවිතේ ජිවත් කරවන ආදරේ.....


මේ දේවල් ටික ඔහේ කියාගෙන ගියේ කල්පනා කරද්දී ආපු හැඟීම් නිසා.. ආදරයේ සුවිශේෂත්වය දැනුන මොහොතක..

පුරා වසරක් මා සමග අත්වැල් බැඳ ආදරය,දුක,සතුට,සිනහව,කඳුල... හැමදෙයක්ම රඳවාගෙන පැමිණි එක් සුවිශේෂී අයෙකු වෙනුවෙන් මේ සිතුවිල්ල ආදරයෙන් පුද කර සිටිමි! :)

සොඳුරු සිනහවෙන් මුවග සරසා..
කෙමෙන් පා තබා මා වෙත..
පැමිණියා නුඹ මදකුදු පමානොව..

ඝන අන්ධකාරයෙන් වෙලෙමින් තිබූ...
නිහඬ නිසල ජිවිත නිවහන...
එලිය කරා නුඹ එක් රාත්‍රියක..

සදා නොවෙනස් බැඳීම් ගොන්නක්..
මා වෙත තබා නිහඬවම..
බලා සිටියා නුඹ වසාගත් දෙනෙතින්...
සුපුරුදු සිනහවෙන් මා සනසා..

ආදරෙයි මං හැමදාමත්...
<3



කුමුදුනිය ඔබයි මගේ-
කුමුදුනිය ඔබයි මගේ
පිපුණු හද විලේ කුමුදු මල මගේ 
නැගුණු සඳ ඔබයි රැයේ අඳුරැ විජිතයේ
සඳ එලිය වගේ සඳවතිය මගේ

අඳුර මැද සැරූ ඔහේ ලපටි සිත මගේ
එලිය දුටිමි නතර වී කැල්ම ඔය නෙතේ
මුලු ලෝකෙම මගේ මැයි මට දැනුනේ ලඳේ
සිසිලයි ඔබේ සෙනේ වදන් ඇසූ ඒ දිනේ
සඳ එලිය වගේ ලැබූ ඔබේ සෙනේ

කුමුදුනිය ඔබයි මගේ................ 

මිහිර පැතූ මිහිරියේ සුවඳ කුසුමියේ
සිටිනවිටදි ඔබ ලගින් සිත නිවී සැනේ
දිවිගිම් නිවේ ඉතින් මගේ නිසා ඔබ ප්‍රියේ
භව භව පුරා සරමි නෙතින් පතමින් ඔබේ සෙනේ
සඳවතිය සොඳුරු විජිතයේ

Post Comment

Sunday, February 12, 2012


ජිවිතයක් බේරා ගන්න පුංචි උදව්වක් කරනවද?

ජීවත් වෙන්න අපි හැමෝම ආසයි... ඒ ජීවිතේ විදවන්න නැතුව විදින්නයි මේ හැමදේම කරන්නෙ.. ඒත් අපි නොහිතපු විදියට කරදර බාදා එන පුලුවන්... ඒ දේවල් නිසා අපිට පේ මේ ජීවිතේ විදවන්න වෙන්න පුලුවන්...

ඒ වගේ විදවන්න වෙන එක දෙයක් තමයි ලෙඩ රෝග හැදෙන එක... මාරාන්තික ලෙඩකින් අපි ජීවිතේ අපි හිතපු පතපු දේවල් ඔක්කොම කනපිට ගහන්න පුලුවන්...

අනාගතේ ගැන අපි මවපු හීන.. අපි ආදරේ කරන අය... අපේ අතින් ඉටුවෙන්න තියෙන යුතුකම්.. මේ හැමදේම දාල අපිට යන්න වෙන්න පුලුවන් මේ ලෙඩරෝග නිසා...

පිලිකාව කියන්නෙත් ඒවගේ මාරාන්තික ලෙඩක... පිලිකාව නිසා අපි අතරින් අකාලෙ වෙන්වෙලා ගිය එක්කෙනෙක් හෝ ගැන අපි අහල තියෙනවා... ඒ තරමට පිලිකා මාරයා දරුණුයි...

ඒත් දැන් වෛද්‍ය තාක්ෂනෙ දිවුණු නිසා මේ රුදුරු ලෙඩ රෝග බොහෝමයක් පරාජ කරන්න පුලුවන්... ඒත් අව‍ශ්‍ය එක දෙයක් තියෙනව ඒ.. මුදල්...

හැමෝටම ඒවගේ අවස්තාවකට මුහුණ දෙන්න ප්‍රමානවත් ආර්ථික ශක්තියක නැති වෙන්න පුලුවන්

අන්න ඒවගේ අවස්ථාවකට මුහුණදීල ඉන්න සහෝදරියක් තමයි මදුෂාණි

ඇයගෙ ජීවිතේ නැවත් ලබාගන්න අවශ්‍ය වන්නෙ රුපියල් දෙලක්ෂ විසිදාහක් වගේ මුදලක්....


අපේ ආදරනීයෙකුගෙ ජීවිතේ වටිනාමකම ඇහුවොතින් ඔබට මුදල් වලින් ඒක මනින්න පුලුවන්ද... ??

ඇයත් ඒ වගේම ආදරණීය හෝදරියක් , යෙහෙලියක් , දියණියක් ......

ඒත් ඇයගෙ ජීවිතය මිල වෙලා තියෙන්නෙ දෙලක්ෂ විසිදාහක් වගේ මුදලකට..රු 100ක් බැගින් පරිත්‍යාග කලත් 2200 දෙනෙක්ට මේ අහිංසක ජීවිතය බේරාගන්න පුලුවන්...

අපි පරිත්‍යාග කරන සුළු මුදලට ජීවිතයක් බේරගන්න වගේම ගොඩක් දෙනෙක්ගෙ ඇස්වල කදුළුත් නවත්තන්න පුලුවන්...

ඒවගේම ඒ බේරාගනුපු ජීවිතය හිනාවෙන සැරයක් සැරයක් පාසා අපිටත් හිනාවෙන්න පුලුවන්..

ඇගේ රෝගී තත්තය පිලිබද වාර්ථා හ වැඩිදුර තොරතුරු දේව්ගේ අඩවියෙන් බලාගන්න පුලුවන්...

ඔබටත් ඇයගේ ජීවිතය බේරගන්න හැකි පමණින් උදවු දෙන්න මෙන්න මේ විදිවලින් පුලුවන්....

නම : පතිරණ කංකානම්ගේ ලක්ෂිකා තිළිණි මධුෂාණී

ඔබේ පරිත්‍යාගය යොමු කළ හැකි ආකාරයන් ..

·බැංකු ගිණුම : ජාතික ඉතිරි කිරීමේ බැංකුව , කරාපිටිය ශාඛාව
o ගිණූම් අංකය : 1-0121-80-0775-6

· වෙස්ටර් යූනියන් මුදල් හුවමාරුව මඟින් නම් ,(විදේශගත ඔබට)
o Receiver Name : P.K.L.THILINI MADUSHANI
o Expected payout location : Karapitiya , Galle
o Province : Southern
මෙමගින් මුදල් යවන්නේ නම් ඔබේ පරිත්‍යාගය පිළිබඳවත් ඔබේ තොරතුරුත් , එම මුදල් හුවමාරු අංකය (MTCN ) සහ වෙනත් විශේෂිත කරුණු වේ නම් පහත email ලිපිනය(cooperative.nts@gmail.com) ඔස්සේ මේ දියණියගේ පුහුණු පාසල වෙත යොමු කරන්න , එහි සම්බන්ධිකරණ නිලධාරි සුජීව ආරියනන්ද මහතා (දුරකථන අංක +94778166929) ඊට අදාල සම්බන්ධීකරණ කටයුතු කරනු ඇත.

වැඩුදුර තොරතුරු

ඇයගේ ලිපිනය : කජු ගහ වත්ත , ගනේ ගොඩ , අක්මිමන
පියා : පි.කේ අනුර
මව : පි.වි පුශ්ප කාන්ති


තව දුරටත් මේ නැගනියගේ රොගි තත්වය හා ව්ස්තර පිලිබදවත් ඔබේ පරිතයාගයන් පිලිබදවත් ෆේස් බුක් මෙම පි‍ටුව හා සම්බන්ද වි ලබා ගත් හැක ( http://www.facebook.com/cooperative.nts )


Or more details :-

M.M.Nishantha
Skype : m.m.nishantha
Gtalk: m.m.nishantha
Facebook: Blog: http://nursinglanka.blogspot.com/





මේ පොස්ට් එක ඔබේ බ්ලොග් වලත් පල කර මේ අක්කාගේ ජිවිතය බේරා ගැනිමට ගන්නා මේ උත්සහයට දායක වන්න..

Post Comment

Sunday, January 8, 2012

තවත් එක් සොඳුරු හමුවක්!!!



                    කවුරු කවුරුත් ආසාවෙන් බලන ඉඳපු තවත් එක දවසක ආරම්භය.. උදේ පාන්දරම නැගිටලා දත කට එහෙම මැදලා කාරිය මාත් ලෑස්ති වුනා කියමුකෝ ගාල්ලේ ස්ටෑන්ඩ් එකට යන්න.උදේට කාල බස් එකකට නැගගත්තා..බුදු අම්මෝ..කවදාවත් වක්වැල්ල පාරේ බස් එකක එහෙම එල්ලිලා යන්න වෙලා නෑ මට නම්..
                  
                    කොහොම  හරි ස්ටෑන්ඩ් එකට ඇවිත් කවුරුත් සෙට් වෙනවා කිව්ව පාලම උඩට ගියා..



ප්‍රාර්ථනා අක්කව ඈතදීම අඳුරගත්ත..ලඟට ගිහින් අඳුරන්න පුලුවන්ද අක්කේ කියල ඇහුවම උදේ පාන්දරම කිව්වේ නැතැයි අමාරුයි කියල..උදේ පාන්දරම මල නෝන්ඩිය..එතන එක එක විකාර කර කර ඉඳල කොළඹ උන් හරියට වෙලාවට වැඩ කියල දැනගත්ත නිසා අපි ගියා මාතර බස් එකක නැගල උණවටුනට  ;)..


එතනත් කට්ටියම බොරු කියා කියා පැය ගානක් හිටියා.එකා දෙන්න එතනටත් එකතු උනා..ටිකකින් කොළඹ ඉඳන්  ආපු බස් එක ආවා..අපි සෙට් එකත් කොහොම හරි ඒකටම පැටවිලා ගියා රුමස්සලට..
ජනරඟ අයියා ගියපු  බස් එක නම් ටොප් එකේ කන්ද ඇද්ද කියල තිබුනා....මං එත් බැලුවේ ඒ කොහොමද කියල.. :P

               ගියපු වෙලාවේ ඉඳල කට්ටියට ෆන් එක නම් උපරිමයි..හිමා නංගිට නම් බඩගින්න උපරිමයි.. :P
කට්ටිය ඉස්සෙල්ලම තමන්ව අඳුන්නල දීල ඉවර වුනා විතරයි  අපේ අතිජාත හිතමිත්‍ර අභියා අයියා ඈතුලු කස්ටිය සෙට් වෙලා ඉවරයි..:D

                        අපි ඉතින් ඔව්වට නෑනේ..පැත්තකට ගොහින් සින්දුවක් කියන්න පටන් ගත්තා කස්ටියම එකතු වෙලා..කස්ටිය කිව්වට හිමා නම් එතනත් ලැපක් වගේ එකක් දිග ඇරගෙන වැඩ..
අපේ බණ්ඩාරවෙල ඉඳං කටින් අලිගැට පේර අරන් ආපු යසියා එක්ක බර වැඩක....:P



                     

                        
                               කොළඹින් එන තව බස් එකක් පරක්කුයි කිව්වා නිසා ඒක එනකන් කස්ටිය එක එක විදියට ෆන් එක උපරිමෙන්ම ගත්තා..බොන උන් බිව්වා   (රංග අයියා ටික වෙලාවකින් බලනකොට පරණ ඔරු කබලකට හේත්තු වෙලා සැප නින්දක් දාගෙන හිටියා දැක්ක..මහන්සියට වෙන්න ඇති මගේ හිතේ..අධිවේගේ කොළඹ ඉඳං ගාල්ලේ ඇවිත් පට්ට මහන්සි ඇතිනේ..නැද්ද??)
..කන උන් කෑවා..365දවසෙම නාන්නේ නැති උන් නෑවා..අපි සින්දු කිව්වා...


                      කොළඹින් ආපු අනිත් බස් එක හීට් කරලා මග නැවතිලා කියල පස්සේ පොඩි මෑන් කිව්වා..ටිකකින් මාතලන් අයියත් සෙට් උනා අපිට..දවල් කෑම එකත් යන්තම් එතෙනට පාත් උන නිසා කස්ටියම කන්න ගියා කියමුකෝ....උදේ ඉඳං බඩගිනි කියා කියා කැගහපු හිමා ලා බත් එකෙන් බාගයක් වාසනාවන්ත බල්ලෙකුට දුන්නනේ...

                  එතකොට තමයි පොඩි මෑන්ල ජිල්බිරිස් එකක් දාල බස් එකක් සෙට් කරලා අර අනිත් බස් එකේ ඉඳපු සෙට් එක එතනට ගෙන්න ගත්තේ...දවල් කෑමෙන් පස්සෙත් තම තමන්ගේ ෆන් එක කන්ටිනියු කරගෙන ගියා කස්ටියම...

             අපේ සිහිනයා ගලක් උඩ ඉඳං පැනල ගත්ත ෆොටෝ එකක් නිසා කස්ටියටම එහෙම පනින්න ඕන උනේ නෑ... අපේ ජනරඟ අයියා එහෙම පැනල හොම්බ දණහිසේ ඇන ගත්තෙත් නෑ...

              
               සේරම අය එක එක ජාතියෙන් බයිලා කරලා ෆන් එක අරන් ඉවර වෙලා කොළඹින් ආපු අය යන්න වෙලාව හරි නිසා පොඩි මෑන් කස්ටියම එකතු කරා..හප්පා...මාර ජවනිකාවක් දැකගන්න ආසාවෙන් තමයි එතනට ගියේ...මන්තරකාරී අක්කා කෙල්ලෙක් උනොත් පොඩි මෑන් හැමෝම ඉස්සරහ එයාට වඳිනවා කිව්වනේ...
කස්ටියම වට උනාට පස්සේ මූ කිව්වේ නැතැයි මන්තරකාරී කෙල්ලෙක් උනොත් වඳිනවා කියලයි මන කිව්වේ..ඒක හරියටම දන්නේ නැනේ.පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නන්න කියල..මල මගුලයි..
අක්කට නම් පොලොව පලන් යන්න හිතෙන්න ඇති...

               අභියා අයියා මැද්දට පැනල කිව්වා මෙයා කෙල්ලෙක් බව ඕන කෙනෙක්ට පේනවනේ..හරි එහෙම නෑ කියන කෙනෙක් කියපන් කියල...පොඩි මෑන් වැඩිය නොන්ඩි උනේ නෑ.:P
 එත් ඉතින් මූ ගල් ආඳා නේ..
මූ කියපි මං කිව්වේ හැමෝම ඉස්සරහ වඳිනවා කියලනේ..මෙතන හැමෝම නැනේ..එහෙම හැමෝම ආපු දවසක මං වඳින්නම් කියල මූ ලිස්සල ගියා..
           
            පස්සේ කව්රුත් විසිර  යන්න පටන් ගත්තා..කොළඹ අය එහෙ ගියා..බෙන්තර ගඟෙන් මෙහා සෙට් එක ගෙවල් බලා ගියා..
         
              කොහොම කොහොම හරි අඳුරන්නේ නැති අය අඳුරගත්ත,අලුත් යාලුවෝ ගොඩක් ජීවිතේට එකතු උන,පට්ටම ෆන් එකක් ගත්ත,තව තව ගොඩක් දේවල් වෙච්ච දවසක් දැනෙන්නේවත් නැතුව පුදුම වේගෙකින් ගෙවිල ගියා..ආයෙත් කවද මෙහෙම සෙට් වෙන්නද?? එහෙම පට්ටම සිරා දවසක් එනකන් ඇඟිලි ගනිමින් ඉන්න තමයි වෙන්නේ..ආපු යාළුවො හැමෝම ආදරෙන් මතක් කරනවා.. නොආපු කස්ටියත් ඊළඟ පාර අනිවා ඩෙෆා එන්න හිතාගන්න හොඳේ???


පොඩ්ඩා,බනියා,කිඩෝ ඇතුළු ඕගනයිසින් කොමිටයටත් මේවගේ පට්ට ෆන් එකක් ගන්න චාන්ස් එකක් හදල දුන්න එක ගැන අපේ බලවත් මෙව්වා එක පුද කරනවා!!!
         
             එහෙමනම් කාට කාටත් ජයවේවා!!!!
               
   ප.ලි
          අතිශය කාර්යබහුලවාතාවරණයක් මැද ඉතා කෙටි පොස්ටුවක් දැමීමට සිදුවීම පිලිබඳ සමාව බාජනෙකට දාන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

Post Comment

Monday, October 17, 2011

පශ්චාත්තාපය..!!!

     මා මළ පසු සොහොන් කොතේ හැපී හැපී ඇඩිල්ල හැර 
වෙන කරන්න දෙයක් තිබුනෙම නැද්ද නුඹට..???
  ටිකක් හිතපන් හෙමින් සැරේ..
මා ජිවත් වුනේ ....නොමැරී මැරුණේ..
විඳව්වේ මා වෙනුවෙන්ද නුඹ වෙනුවෙන්ද කියල...
හුදෙකලාවේ නිහඬව වේදනාව දරාගත්තේ මා වෙනුවෙන්ද කියල..

අසීමාන්තිකව නුඹ වෙනුවෙන් කැප වුන ජීවිතයකට..
මේ ලෝකේ තවත් ඉන්න දෙන්න වටින්නේ නැතිලු..
එහෙමයි කලින් දවසේ රෑ දෙයියෝ හීනෙන් ඇවිදින් මට කිව්වේ..
   දැන්වත් මට නිදහසේ යන්න දීපන් මගේ ලෝකෙට..
එහෙම එකක් තියෙනවද කියලවත් බලන්න...
 
         නුඹටත් වැඩිය මේ ලෝකේ කුරිරුයි කියල තේරුම් ගනින්..
නුඹ වෙනුවෙන් හෙලපු කඳුළු බිංදු පරිස්සම් කරලා තියල ඇති..
මතක ඇතුව අරන් පලයන්................................................!!!



Post Comment

Saturday, September 3, 2011

ආදරෙයිද හැමදාමත්??

........මං එදා ඇඩුව හැටි මට තාම හොඳට මතකයි...කවදාවත් නැති විදියට..ඒකට අඬනවා කියන්න බැරිද මන්දා...
එක කඳුළු බිඳුවක්වත් ඇස දෙකෙන් පහලට කම්මුල් දිගේ ගලාගෙන නොගිහින් බලෙන්ම වගේ රැඳිල ඉඳපු හැටි....ඒ කඳුළු බිංදු වල තිබුන වේදනාව දරාගන්න බැරුව ඇස් දෙකත් රිදුන හැටි..කවදාවත් අමතක වෙන්නේ නෑ.. 
පපුව ඇතුලෙන් කවුරුහරි හදවත තද කරලා අල්ලාගෙන ඉන්නවා වගේ මහා වේදනාවක් දැනුන හැටි...
වරද තියෙන්නේ ආදරේද?? නැත්නම් ඒක කරන විදියේද?? නිමක් නැති ප්‍රශ්න ගොන්නකින් හිතම පිරිලා....
මොහොතකට මට හිතුනා මං ජිවත් වෙන්නේ ආදරේ නිසා කියල...............!!!!!!!!!!!!!

ජිවිතේ කියන්නේ බලාපොරොත්තු ගොන්නක්..එහෙම නේද???

Post Comment

Sunday, July 24, 2011

ආගන්තුකයාගේ බ්ලොග් ආගමනය සහ තවත් කතාවක්!!

කාලයකට ඉහතදී විජය පරිගණක සඟරාවක තිබුන ලිපියකින් බ්ලොග් කියන  වචනය මුලින්ම අහපු මට ඒ ගැන එච්චර වගක් තිබුනේ නෑ.ඒ කාලේ අර ඉස්කෝලේ යන හැම ළමයෙක්ම වගේ දුවපු රේස්‌ එකේ මාත් දුවපු නිසා වෙන්නැති සමහරවිට...පස්සේ දවසක ඒ ලිපිය ආයෙමත් අහම්බෙන් වගේ හම්බවෙලා කියෙව්වම ඒකෙ තිබුනේ බ්ලොග් කියන්නේ ඕනෑම කෙනෙක්ට නිදහසේ පවත්වාගෙන යන්න පුළුවන් තමන්ගේ පොද්ගලික දිනපොත වගේ වෙබ් අඩවියක් කියල අදහසක්....
කොහොම හරි ඉතින්  ඕක සම්පුර්ණයෙන්ම අමතක වෙලා ඉන්න අතරේ තමයි ඉස්කෝලේ යන කාලෙත් එකට ඉඳපු යාලුවෙක් පටන් ගත්තේ බ්ලොග් එකක් ලියන්න.මේ තියෙන්නේ ඒ බ්ලොග් එකට යන පාර.ඒක කියවන්න ගියාම තමයි වැඩේ පොඩි ෆන් එකක් තියෙනවානේ කියල හිතුනේ.මොකද තමන්ගේ අදහස් උදහස් වගේම නිර්මාණ සියල්ලක්ම වගේ පාඨකයා අතරට ගෙනියන්න පුළුවන් ලේසිම විදියක්නේ.


කොහොමහරි ටික දවසකින් කැම්පස් එකත් නිවාඩු දුන්න ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නිසා..(ඒකෙ හැමෝටම පෙනන පැත්ත සහ නොපෙනෙන පැත්ත ගැනත් පසුව දෙයක් ලියන්නම්.)
එහෙම අහම්බෙන් ඔලුවට කඩන්වැටුන පරණ පින නිසා ආයෙමත් බ්ලොග් අවකාශයේ හොඳ හැටියට රවුම් ගහන්න පුළුවන් උනා.කොහොමත් ඉතින් නිවාඩුවක් ලැබෙනවා කියන්නේ අපි කොච්චර ආසාවෙන් ඉන්න දෙයක්ද කියල දන්න අය දන්නවනේ..:D


එහෙම කියවන්න පටන් ගත්ත බ්ලොග් වලින් සෑහෙන්න ප්‍රමාණයක් හිතට අල්ලපු ඒවා තමයි තිබුනේ.ඒ වගේ බ්ලොග් වලට පිස්සු වැටුන කෙනෙක් දන්නවා ඇතිනේ ඊළඟට මොකද්ද හිතෙන්නේ කියල..:)
ඒ ඉතින් මටත් මෙහෙම ලියන්න තියේනම් කියන එක තමයි..
අන්තිමට ඉතින් මමත් කරේ එහෙම හිතුන ගමන් බ්ලොග් එකක් හදපු එක.ඒත් ඉතින් බ්ලොග් එකේ දාන්න දෙයකුත් තියෙන්න එපැයි.
ගොඩක් වෙලාවට කල්පනා කර කර ඉන්න අතරේ හිතට එන ලස්සන අදහස් වගේම අමුතු අදහස් ඒ වෙලාවෙම කොලයක ලියලා පොඩි සටහනක් දාල තිබුන නම් කියල හිතුනේ එවෙලෙ.


අන්තිමට බ්ලොග් එක හදලත් ගොඩක් දවස්‌ යනකම් මුකුත් ලියන්නේ නැතුව කියව කියවම හිටියා..:)
දැන් තමයි ඔන්න ලියන්න පටන් ගත්තේ.
මේක මගේ පළමුවෙනි පොස්ට් එක නිසා කියවල හිතට එන හැමදෙයක්ම කියන්න කියල ආදරෙන් ඉල්ලනවා.ඕනෑම අදහසක්,යෝජනාවක් කියන්න.හරි නැත්නම් එහෙම හරි කියන්න.විශේෂයෙන් අඩු පාඩු කියනවනම් ලොකු දෙයක්.:)


පළවෙනියටම ලියන්න හිතුනේ අපි කාටත් කවදාවත් අමතක වෙන්නේ නැති කවුරුත් ආදරේ කරන දෙයක් ගැන.


අම්මගේ ආදරේ.


 අති බහුතරයක් කවියන්ට,ගීත රචකයන්ට වගේම සියලුම විදියේ කලාකරුවන්ට සොබාදහම විසින් ලබාදුන් අපූර්ව වස්තු බීජයක්.
භාෂාව,ජාතිය,ආගම,සංස්කෘතිය වගේ විවිධ වෙනස්කම් සහිත මිනිසුන්ට පොදු දෙයක් උන ඒ ආදරය සෙනෙහස ගැන තැනුන නිර්මාණ අනන්ත ප්‍රමාණයක් ඇති.
ඒ විදියට ලියවුන තවත් එක සිංහල ගීතයක් ගැනයි මේ කතාව..
සමහර අය අහල නැතුවත් ඇති.එහෙම නම් හොයාගෙන හරි අහන්න වටිනා ගීතයක්.නිකන්ම අහනවට වැඩිය මේක රස විඳලම බලන්න ඕන.
ගීතය තමයි විශාරද නන්දා මාලනිය ගයන චන්ද්‍ර මඬුලු යට සුරංගනාවන්....
 කවුරුත් අහල තියෙන ජාතියේ දරු නැළවිලි ගීයක් නම් නෙවෙයි මේක.බොහොමයක් එවන් ගීත ලියල තියෙන්නේ ලස්සන අපූරු ලෝකයක් මැවෙන විදියට සහ අහගෙන ඉන්නකොට සනීපෙට නින්ද යන විදියේ මිහිරි තනුවකට අනුවනේ.මේකත් ඉතින් තනුව ගත්තම නම් අහන් හිටියම අපිට උනත් නින්ද යන තරම් ලස්සන මිහිරි තනුවක්..:D






මේ විශිෂ්ට නිර්මාණයේ රචකයා මහින්ද අල්ගම මහතා..එදා මෙදාතුර ලියවුන ඉහලම ගණයේ දරු නැළවිලි ගීයක් කියල පිළිගැනීමක් තියෙනවා මේ නිර්මාණයට..රසවිඳලම බලන්න...



         ගීතයේ මුල් පද පේලි මෙහෙමයි.
චන්ද්‍ර මඬුලු යට සුරංගනාවන් 
දූ සනහන්නට ගීත ගයනවලු
දුවේ එපා ඒ කතා අහන්නට
මේ නැලවිලි ගී මමයි කියන්නේ.....


අනිත් හැම ගීත රචකයෙක්ම වගේ ඔය වගේ උදාහරණයක් කියල තියෙනවනම් තියෙන්නේ සුරංගනාවෝ ඇවිත් පුංචි දරුවාව නලවන, දරුවා නලවන්නට මිහිරි ගීත ගයන ලස්සන පරිසරයක් අපේ හිත වල ජනිත කරවන අයුරින්..
ඒත් මේකේ එය දක්වන්නේ වෙනස් විදියකට..අම්මාගේ ළයාන්විත මිහිරි හඬින් ගයන ගීත තරම් අනික කිසිවක් සුන්දර නැති බව ඔහු අම්මාගේ වචන වලින්ම කියනවා..
වක්‍රව කියන්නේ අම්මා තරම් වටින සුරංගනාවියක් දරුවට ඉන්නවද? :)


ඊළඟ පද පේලි ටිකත් අහන්න..


රන් තැටියක කිරි පැණි පුරවාගෙන 
හඳහාමි  දූ බලන්න එනවලු 
දුවේ එපා ඒ කතා අහන්නට
හඳහාමි කෙලෙසද මෙහි එන්නේ..


කිරි මුට්ටිය නුඹේ ගඟේ ගියාලු
ගඟට උඩින් කිරි කොක්කු ගියාලු
දුවේ එපා ඒ කතා අහන්නට
මමයි නුඹට ලේ කිරි කර දෙන්නේ  ..




චන්ද්‍ර මඬුලු යට සුරංගනාවන් 
දූ සනහන්නට ගීත ගයනවලු
දුවේ එපා ඒ කතා අහන්නට
මේ නැලවිලි ගී මමයි කියන්නේ.....

රන් තැටියක කිරි පැණි පුරවාගෙන හඳ හාමි එනවලු පුංචි පැටියව බලන්න..එහෙමයි අනිත් අය කියන්නේ.
ඒත් මේ අම්මා කියන්නේ හඳ හාමි කොහොමද දුවේ මෙහෙට එන්නේ..
මට හිතෙන විදියට නම් රචකයාට අනුව, අම්මා තරම් දරුවෙකුට ජිවිතයට ආලෝකය දෙන හඳක් තව කොහෙන්ද?
:)

අවසානයේ කියන්නේ කිරි මුට්ටිය ගඟේ ගියා, ගඟට උඩින් කිරි කොක්කු ගියාලු කියන කතාත් අහන්න එපාලු..කවුරුවත් පුංචි දුවට කිරි ගෙනත් දෙන්නේ නෑනේ.
අම්මනේ තමන්ගේ පුංචි පැටියට ලේ කිරි කරලා දෙන්නේ..

ඇත්තටම පුංචි දරුවෙකුට තමන්ගේ අම්මා,තාත්තා තමයි මුළු ලෝකයම වෙන්නේ.මේකේ කියවෙන්නේ අම්ම ගැන.ලස්සන සුරංගනාවියෝ,හඳ හාමි ..මේ හැමදෙයක්ම අම්මාගේ ලග තියෙනවා.අම්මාගේ ආදරේ ඒ තරම් උතුරා ගලා යනවා..
මේ විදියට අම්මව අගය කරන විදියේ මිහිරි නාදයක් දරුවට ඇහෙනකොට ඒවා සදාකාලිකවම ඒ පුංචි හිතේ තැන්පත් වෙනවත් ඇති..
මෙහෙම තමයි මේ අපූර්ව ගීතය ගැන මට හිතෙන්නේ..

ඔබේ අදහසත් කියලම යන්න....

Post Comment